Monday, May 16, 2016

මොණර කිරිල්ලි - 3



මොණර කිරිල්ලී - 3









හිරු බැහැලා ගිහින් තිබුණා..  රන්වන් සේද සැරසිලි මකා දමමින්....  අහසයි.. පොළොවයි.. එක්කාසු කළ ක්සිතිජ රේකාවත් අදුර තුල සැගවිලා ගිහින් තිබුණා සේයාවක් පමණක්ම ඉතුරු කරමින්.. පිරිමියාටම නිරන්තරයෙන්  ගතු කියමින් ඔහු මතම හැපෙන  ගැහැනියක සේ...  දිවා කාලය පුරා හඩ නගමින්  වෙරළ මතම හැපුනු මුහුද..., මේ රාත්‍රියේ  නම්  නිහඩ කෙදිරියක් පමණක්ම  නගමින්  වෙරළට තුරුල් වෙමින්  හිටියා.

“ යශෝ...”

“ හ්ම්....”

“ අපි යමුද....?”

“ ඔයා කියන්න ආපු දේ කිව්වේ නැ.. “

ගීත් මුහුද දිහා බැලුවා. මුහුදත්...., රල පෙණ කැබිලිති වෙරළ පුරා සෙමෙන් විසුලවමින් රහසින් ඔවුන්ගේ  කතාවට කන්දුන්නා. කතාව කොතනින් පටන් ගන්නද කියලා ගීත්ට හිතාගන්න බැරී උණා.  කොතනින් පටන්ගත්තත් කියන්න තිබුනේ එකම කතාවක්. අනිත් අතට කතාවක් කොහෙන් පටන්ගත්තත් ඒක කතාවක්මයි.. හිතාගන්න බැරී උනේ ඒකට යශෝරාවී කොහොම දරාගනීද කියන එක විතරයි. මේ කතාව මොන පැත්තකට පෙරළුනත් මේ කතාවෙදි යශෝරාවිට අවංක වෙන්නත්.. එන තත්වයට මුහුණ දෙන්නත්  ගීත් හිතන් හිටියා.

“ යශෝ....”

“  කියන්න..”

“ ඔයා මුහුද දිහාම බලා ඉන්න.. මට මේක ඔයාගේ මූණ දිහා බලාගෙන කියන්න බැ..”

යශෝරාවිගේ හිතේ හෙන සරක් පිපිරුණා.  මුහුද උදම් රළ පෙළක් තුළ තමන් සගවාගන්නට වෙර දරණ බවක් ඇයට දැනුනේ.. කියන්න යන දෙයෙහි පුරෝකථනය ඇගේ  මනස ග්‍රහණය කරගනිමින් උන්නෙ. ඇය නිහඩවම අසා උන්නා..

“ ඔයා තවත් කෙනෙක්ගෙන් මේක දැනගන්න කලින් මං මේ දේ කියන්න හිතුවා..”

ගීත් කතා කලේ තවත් කෙනෙක් නොකරන තරම් මහා ලොකු පරිත්‍යාගයක් කරන්න හදනවා වගේ.. එත් ඊලග නිමේෂයේ ඔහුගේ හඩ නිහින ලෙස බිදිගියා.

“ මං  කෙනෙකුට ආදරේ කරනවා.. එයාට ඕනේ මාත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න..  මං දන්නවා ඔයාට මේක ගොඩක් අමාරුයි කියලා..”

යශෝරාවිගේ නෙතු මුහුදින්  මිදෙමින් ඒ හා සමානම තද නිල් පැහැයකින් යුතු අහස දිහාට සෙමෙන් ගමන් කරමින් තිබුණේ. ‘ දෙවියන් වහන්ස.... මට හයිය දෙන්න ... මේ කතාව අහන් ඉන්න මට හයිය දෙන්න.. ජෙසුනේ... කදුළු ගේන්න එපා.... මගේ ඇස් වලට...’ අහසේ පේන  මානයෙනුත් බොහෝ දුරක ඇගේ ඇස් නතර වෙලා තිබුණා.. එකිනෙකා පරයමින් මතුවෙච්ච හිතුවිලි ජාලයක් ඇතුලේ පැටලෙමින් උන්නු ගීත්ගේ ඇස් යශෝරාවිගේ සුදුමැළි වෙමින් තිබුණු  මුහුණ දැක්කේ නැහැ.

“ අනිත් දේ.... ඔයාට කියන්නම ඕනේ..  මේක ඔයාගේ අඩුපාඩුවක් හින්ද වෙච්ච දෙයක් නෙමෙයි.. ඇත්තටම ඒක හරිම අහම්බයක්... ඒත්.... දැන් එයාට ඕනේ.......”

“ එයාට විතරද.... ඕනේ..??? ”

මෙතෙක් වෙලා තනිවම කතාවක් කියමින් හුන් ගීත් බොහෝ දුර ඈතකින්  සිහින්  සරින් ඇහුනු හැගීම් විරහිත හඩකින් මොහොතකට නතර උණා.

“ න්..නෑ... ඒත්..., එයත් එක්ක කිසිම දෙයක් කතාකරලා විසදගන්න බෑ...”

යශෝරාවිට අඩන්න ඕනෙද.. හිනාවෙන්න ඕනෙද කියලා හිතා ගන්න බැරිව ගියා.  ඇය මුකුත්ම නොකියා තව දුරටත් අහන් උන්නා.

“ මම මේ හැම දෙයක්ම ඔයාගේ නමට ලියනවා..”

යශෝරාවිගේ ඇසිපිය තදින් සැලුණා.ඇගිළි තුඩු ගුළි ගැහිලා අල්ල මත තද උණා. තමන් පොළොව තුළට ගිලාබසින බවක් ඇයට දැනුනේ. ‘මගේ ජීවිතය.. මගේ ආදරය... මං කරපු කැපකිරීම්... මේ හැමදේම .... මට තුට්ටුවක්වත් වටින්නේ නැති දේපලක් එක්ක හිලව් කරන්නද හදන්නේ මිනිහෝ....’ කියමින් යශෝගේ හිතේ උන්නු කාලි අම්මා වගේ ගැනියෙක් නැගිටලා  ගිහින් කේන්තියෙන් ගීත්ව සොලවද්දී යශෝ තවත් පුටුව තුළටම ගල් උණා. ‘ වැඩක් නැහැ... මෙච්චර කල් එකට ඉදලත් එයා ඔයා ගැන මුකුත්ම දන්නේ නෑ...’ ඇගේ හිත ඇතුලේ හිටපු තවත් ගෑනියෙක් යශෝගේ කනට කෙදිරුවා. අහසේ ගොඩක් ඈතක ඉදන් දේව මෑනියෝ බොහොම කරුණාවෙන් ඇය දිහා බලන් හිටියා.

 මුළු ජීවිතකාලයේම ඇය ගෙවූ පීඩාකාරී හෝරාව මේ මොහොතේ  ඇය ගෙවමිනුයි  හිටියේ.. ගීත්ගේ දුරකථනය අපූරු ගී තනුවක් වයමින් ඔහුගේ අවදානය උදුරාගත්තා. ප්‍රේමවන්ත කතාබහක් අහන් ඉදලා...  තමන්ව නොහදුනනනා මිනිහෙක් ළග කදුලක් පූදගන්න අකැමැත්තෙන් ඇය සීරුවට වෙරළ දිහාවට ඇවිද්දා.

“ ස්ටේෆ්නි.... “


යශෝරාවිගේ වැලිකෙලියේ මිතුරිය..  තමන් සිය දුරකථනය රැගෙන නොආපු බව ඇයට සිහි උනේ ඒ මොහොතේ.. එය ඈ ඇතින් නිරන්තරයෙන් වන අත්වැරැද්දක්..


“ හෙලොඕ....  ස්ටේෆ්නි....”

“ නීලියා කිව්වා ඕගොල්ලෝ එළියට ගිය කියලා... යශෝගේ ෆෝන් එක රින්ග්ස් යනවා ගන්නේ නැනේ...”

“ ම්ම්ම්ම්.... ඔව්..... මේ   අපි ඉන්නේ see back beach hotel එකේ ස්ටේෆ්නි...   

“ ඕ....ඕ....  birthday එක celebrate කරනවද.. sorry.... එත් මට මගේ යාලුවට wish  නොකර ඉන්න නම් බැ“

“ ඕඕ .... Jesus...  ඉන්න මම දෙන්නම්..”


ගීත්ගේ වරදකාරී නෙතු සමාව ඉල්ලමින් ඇගේ නෙතු අසළ දැවටුනා.  ඒත් ඊට වඩා බරපතල වැරද්දකින් ඒ වරද වැහිලා ගිහින් තිබුණු නිසා යශෝ.. ස්ටේෆ්නිත් එක්කම මුහුද පැත්තට හැරුණා. මේ වෙලාවේ මිතුරියගේ  කෙළිලොල් කතාබහ ඇයට අස්වැසිල්ලක් උණා. ගීත් මුදල් හිලව් පියවලා මිත්‍රශීලී වේටර් තරුණයාත් සමග කතාබහක පැටලිලා එද්දී යශෝරාවී රියට ගොඩවෙලා පිටුපස අසුනින් හිදගෙන හිටියා. තමන්ට අහිමි අසුනක තවත් රැදෙන්න ඇයට හිතක් තිබුනේ නෑ.  ගීත් පුදුමයෙන් ඇය දිහා බැලුවත් ඒ ඇයි කියලා අහන්න ඇයට හයියක් තිබුනේ නැ..


“ sorry යශෝ..... මට අමතකම උණා....”

ඒ වනවිට යශෝගේ නිහඩබව දරාගන්න බැරි තරම් බරක් ගීත්ගේ හිතේ උපද්දවමින් තිබුණා..  ඒ වගේම වේටර් තරුණයා කියූ දේ තුල වූ.. නොකී දෙය  ඔහුගේ හිත හොල්ලල තිබුණා..  “ සර්ගේ නෝනා නම් ගොඩක් ලස්සනයි.....”  ගීත් යශෝටත් නොදැනෙන්න හොරෙන් ඇය දිහා බැලුවා. ඇය අසුනට හේත්තු වෙලා නෙතු වසාගෙන උන්නත් ඒ නින්ද ගිහින් නොවෙන බව ඔහු දෙනාගෙන උන්නා.. හැබැවටම ඇය සුන්දර බව ඔහුත් හිතුවා.  සෙමෙන් ලංකරගෙන ඒ රත් පහ දෙතොල් සිපගෙන උපන්දිනේට සුබපතන්න.... ඔහුට  හොදටම ඕනෙකම තිබුනත්... ඒ අයිතිය හෝරාවකට පමණ පෙර ඔහු විසින්ම අහිමි කරගෙන තිබුණා. මේ කතාව කියන්න අද දවසම තෝරගත්ත එක ගැන ඔහුගේ හිතට සමාවක් තිබුනේ නෑ. ඊටත් වඩා ඇයව අහිමිවීමේ ශෝකය හා ලෝබකම ඔහුව පෙලන්න අරගෙන තිබූණා.


රිය බොහොම  සෙමෙන් ඉදිරියට ඇදුනා.නැවතුනේ බොහොම ප්‍රසිද්ද රන්ආබරණ සාප්පුවක් අසළ. ඒ වෙලේ නම් යශෝ ඇහැරුණා.


“ ඇයි මේ...”

“ ඔයාට තෑග්ගක් ගන්න...”

“ එපා.... ඔයා මේ දීපු උපන්දින තෑග්ග මගේ ජීවිත කාලෙටම ඇති.... දැන් යමු....”


මෙතනින් පසුව සමරන්නට උපන්දවසක් ඇයට අහිමි කළ බව දෑනුනම ගීත්ගේ හිතට ආවේ ලොකු දුකක්... ඒත් මේ වනවිට යළිත්  සකසන්නට නොහැකි ලෙස වෙනස්ම පරිසරයක් ඔවුන් වටේ ඉදිවෙමින් තිබුණා..


“ මට සමාවෙන්න යශෝ...”

මහපාරෙන් අතුරු මාවතට රිය හැරවුනා. ඇතින් පේන උස්බිමේ  කුඩා ගෙවුයනක් සහිත ඔවුන්ගේ සොදුරු නිවහන දිස්වූනා. ‘ගීත් ඇයට දීලා යන්න ඉන්න නිවහන...’ කවුදෝ කෙනෙක් හිතේ පැත්තක ඉදන් හිනා උණා. ඇත දුර බැහැරක  ගිහින් නිවසට එද්දී මේ ඇහැට වදින දසුන වෙනදා ඇගේ හිත ලොකු සුවයකින් පුරවලනවා. මේ වෙලේ නම් යශොට ඒ කිසිවක් දැනුනේ නැ.. නිලීයා තවම අවදියෙන් ඔවුන් එනතුරු බලන් ඉන්නවා ඇති.

“ඔයාට දරුවෙක් දෙන්න බැරි උන එක ඇත්ත.... ඔයාගේ wife විදිහට මගෙන් මොනවා හරි අතපහු උණාද.. “
යශෝරාවී හිතුවිළි හිරකරගෙන බොහෝම සාමාන්‍ය විදිහට ඇහුවා. තේරුමක් නැති උනත් ඒ ප්‍රශ්නෙට ඇයට උත්තරයක් ඕනෑවෙලා තිබුණා.

“ නෑ.... යශෝ.... නෑ.. .  ඒත්.... මිනිස්සු විදිහට අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ..  ඔයා මාව තේරුම් ගන්න..”
යශෝරාවිගේ හිත ඇතුලේ හිටපු වැඩකාරයා පෙරටත් වඩා හයියෙන් හිනා වුණා. ගීත් මේ විදිහට ආගන්තුකයෙක් වගේ  කතා කරන්න හුරු උනේ කොහොමද කියන එක නම් යශෝට තේරුම් ගන්නම බැරි උණා.රිය කුඩා එළිමහන් ගරාජය තුළ නතර උණා. යශෝරාවිගේ හිතේ තවත් වැදගම්මකට නැති ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබුණා. ඒත්... ගැහැනියක් විදිහට ඇයට ඒ ප්‍රශ්නේ බොහොම වැදගත් එකක් වුණා. ගීත් වාහනයෙන් එළියට බහින්න දොර හරිමින් හිටියේ..

“ එයා ඔයාගේ ජීවිතේට ඇවිත් කොච්චර කල්ද...??? “

ගීත් ආයෙත් අසුන තුළ ඉබේටම ඉදගැනුනා. ඔහුගේ හිතේ කවදාවත් නොවුණු තරම් ලැජ්ජාවක්.., පසුතවීමක් ඇති උණා. ඒක හත් මසක පමණ පුංචි කාලයක් තුළ සිදුවුණු මායාකාරී සිදුවීම් වැලක් කියලා ඇයට කොහොම කියන්නද..  ගීත් බර සුසුමක් හෙළලා..... නැගිටලා ගිහින් ඇගේ පස දොර හැරියා. යශෝරාවී රියෙන් බහින්න සූදානමක් තිබුනේ නෑ..

“ බහින්න..”

“ කොච්චර කල්ද...? “

“ මාස නමයක් විතර....”

 තවත් කිසිවක්ම නොවිමසාම රියෙන් බැස නිවස වෙත ඇවිදගෙන යන යශෝරාවී දෙස ගීත් බලාගෙන හිටියේ ගල් ගැහුණු ගානට. මේ ප්‍රශ්නයට විසදුම් හොයන්නට තමන්ට මීට වඩා කාලයක් ගත යුතුව තිබූ බව ඔහුට හිතුනත්... තාරකාගේ නිමක් නැති අදෝනාවන් ඔහුට සිහිපත් උණා. කොහොම උනත්..., කිසිවක් ආයෙත් ඇද බැද ගත නොහැකි පරිද්දෙන් වෙනස් වෙමින් තිබුණා.. නිහඩවම ඇවිද ගොස් නානකමරයට වැදුනු යශෝ දෙසත්.. බේබද්දෙකු ගානට වැනෙමින් ගොස් ඇදට වැටුණු ගීත් දෙසත්... නීලියා බලන් හිටියේ පුදුමයෙන්..

    

( ඊලග කොටසින්...)  



Wednesday, May 4, 2016

මොණර කිරිල්ලී - 2



අහස අළු පැහැ ගෙන තිබුනේ වැස්සකුක් බරට බරේ.. උහුලාගෙන හිටපු නිසා. එත්... අදුරු වලාකුළු හුළගට බාරදීල ඒ බරෙන් නිදහස් වෙන්නත් අහසට ඕනෑකමක් තියෙනවා වගෙත් පෙනුනා. ඉදහිටක අම්මට උදව්වෙන්න හිතන පුංචි එකෙක් වගේ, හදිස්සියේම  හුලග අළුපාට වලාකුළු වේගයෙන් තල්ලු කරගෙන යන හැටි දැකලා යශෝරාවිගේ හිතේ හීන් සතුටක් ඉපදුණා.


රිය පෙළ කිසිම හදිස්සියක් නැතිව බොහොම නිස්කාන්සුවේ ඉදිරියට ඇදෙමින් තිබුණා..  උදෑසනක සේ එකිනෙකා පරයමින්... හබායමින්..... ඉස්සර වෙන්න කිසිම  ඕන කමක් නැතිවම ඔවුන් හදිස්සිකාරයන්ට ඉඩදෙන්නත් පෙළබිලා හිටියා.  හැන්දෑව....,  මිනිස්සුන්ව සියළු වෙහෙසබර කර්තව්‍යයන්ගෙන් නිදහස්  කර හැරදලා.. ඔවුන්ගේ හිත්වල පුරෝගත්තු පීඩාකාරී ආතතීන් දියකර හරිමින් හිටියා.




එකිනෙකට වෙනස් මේ රිය ඇතුල් තුළ  ඉන්න, වෙනස් වූ මිනිසුන්ගේ..., වෙනස් වූ සිතුවිලි පරම්පරාවල් මොන මොන අහුමුලු අස්සේ ගැවසෙමින් ඉන්නවා ඇත්ද කියලා යශෝරාවිට හිතුණා. සමහරවිට ඒවා කවදාවත් නොගිය පාරවල් ඔස්සේ යමින් ඉන්නවා වෙන්න ඇති.. එහෙමත් නැත්නම්, තමන්ට හුරුපුරුදු පාරවල් ඔස්සේ කලබලයෙන් ඇවිද යනවා වෙන්නත් ඇති... එහෙමත් නැත්නම් තමන්ගේ හීන ඇතුලේ බොහොම සුන්දර හීන මාවත් ඇතුලේ ලෝබකමින් පිය මනිනවත් ඇති... කොහොම උනත් හැමෝම උන්නේ තමන්ටම ඇරුණු ලෝක ඇතුලේ. එකම ලග අසුන් දෙකක ඉදන් උන්නු යශෝරාවී සහ ගීත් වගේම. ගීත්ගේ මුහුණේ තිබුනේ බොහොම බරපතල පෙනුමක්. ඒ තුල තිබුනේ සතුටක්ද දුකක්ද කියලා නොතේරුනා උනත් ඔහු තමන්ගේම හිතේ උපදින සිතුවිලිත් සමග ගැටෙමින් ඉන්න බව නම් ඇයට දැනුණා. 


" ඔයාට.... ප්‍රශ්නයක්ද මොනවා හරි... "

"අ..හ..හ...න්...න්...නෑ...නෑ.... අ...අ.... ඔව්... ම්...ම්...මේ...  න්...  නෑ... යශෝ..... එහෙම දෙයක් නෑ..."

යශෝරාවීට එක්වරම සිහියට ආවේ medical report එක. පහුගිය දින කීපය පුරාම වරින් තමන්ගේ සිරුරට දැනුනු වෙහෙසකරබව හා වරින් වර ඇතිඋනු දුබලතා නිසාම...  ගීත් ඇගේ සම්පූර්ණ body check-up සිදු කිරීමට හිතුවේ  පුංචිඅයියගෙත් පෙලබවිම මත. යශෝරාවිගේ හිතේ විදුලියක් කෙටුවා. ඒ වෙහෙසබර බව තුල තුල සැගවී තම සිරුර තුල නිදන්ව සිටිනා රෝග කාරකයා නිසැකවම බරපතල අයෙකු විය යුතුය. යශෝරාවිගේ සිරුරම එකපැහැර හිරිවැටී යද්දී ඇය තදින් ඇස වසාගත්තා.


" යශෝ......"


" ම්...ම්...ම්...."


" නිදිමතද..."


" න්..නෑ....."


" ඔයා... අද ගොඩක් ලස්සනයි...."



යශෝරාවී කිසිවක්ම නොදොඩා තොල්පට සපාගනිමින් ජනේලයෙන් ඈත බැලුවේ කදුළු වලට ඉඩක් නොදිය යුතු නිසා. ගීත් වදන් හොයාගෙන තිබුනේ තමන්ගේහිත හදනවටත් වඩා ඔහුගේම හිත හදාගන්න කියලා දැනුනම යශෝරාවිට ගීත ගැන දරාගන්න බැරි තරම් දුකක් දැනුනා.එත් ඇයට ඕනේ උනේ ඒ දුක ඔහුට නොපෙන්නා ඉන්න.  



“ ම්...ම්... එහෙමද...”


ගීත් ආයෙත් කල්පනාවක පැටළුණා. යශෝරාවී කවුළුවෙන් ඈත බැලුවා.  ගාලු පාරට ඔබ්බෙන් වෙරළ තීරයේ වූ.. බොහොම අපූරු අවන්හලක් ලග වාහනය නවත්වන තුරුම, ඔවුන් වදනකුදු නොදොඩා ශෝකයෙන් බලන් හිටියේ.. ඔවුන්ගේ හිත්වලට නිහඩවම වැළපෙන්න ඇරලා...


මුහුදේ ඈත කොනේ හිරු.., සිය මෙහෙවර නිමාකරදා නික්ම යාමට සූදානමින් හිටියේ . අහස ඒ සමුගැනීමේ සාදය.. රන් පැහැය, සහ  රත් පැහැය මුසු සේද වළාපට වලින්  බොහොම අපූරුවට හැඩ කරලා තිබුණා... මිනිස්සුන්ට කවදාවත් කරන්න බැරි විදිහට ඒ වළාපට වරින් වර සිය හැඩතල වෙනස් කරමින් ඇන්දා. වෙරළ තීරයේ  නිස්කලංක මේසයක ඉදගෙන යශෝරාවිත්, ගීතුත් ඒ අපූරු දසුන දිහා ඔහේ බලාගෙන හිටියා.

“ good evening sir..., dinner ලෑස්ති කරන්නද ?”

“ ඔව්.. අපිට ඊට කලින්  soft drinks   2ක් ඕනේ..”

fruit juice   නේද sir..”

“ නෑ... ice coffee 2ක්..”

“ අද මොකද madam... menu එක වෙනස් කරන්නේ...”

යශෝරාවී එක් වරම මිත්‍රශීලී වේටර්වරයා දිහා බැලුවේ ඔහු වරද්දාගෙන තිබුනේ තමාවද.. ගීත්වද... කියලා තේරුම්ගන්න බැරිව. ඔහුගේ ඇස්   යශෝරාවී වෙතින්  ලිස්සා ගියේ ගීත් මුහුණ මතට.

“ sir.. තව කව්රුවත් එනවාද dinner වලට..”

“ නෑ.... මායි... wife යි  විතරයි...”

ආචාරශීලි වේටර්වරයා බොහොම විනීතව පිට වෙලා යද්දී යශෝරාවී ගීත් දිහා බැලුවා.

“ මිනිහා හොට පටලවාගෙන....”

යශෝගේ බැල්ම ගාණකටවත් නොගෙන.... ගිලෙමින් තිබුන හිරු දෙස බලාගෙන ඔහු කිව්වේ. යශෝ බොහොම අමාරුවෙන් හිත හයිය කරගෙන පළවෙනි ප්‍රශ්නේ ගීත් දිහාවට බොහොම සීරුවට වීසි කළා.

“ ඔයා ආසිරි එකෙන් reports ටික ගත්තද...?”

“ ඕ...ඕ... අනේ sorry යශෝ...., මම් හෙට sure එකටම ගන්නම්...”

දෙවෙනි ප්‍රශ්නයකට ඉඩක් ඕනේ වෙලා තිබුනේ නෑ.. ප්‍රශ්න පත්‍රයම ඉවර වෙලා තිබුණා.. යශෝරාවී දීග සුසුමක් හෙළුවා..  එපමණටම බර සුසුමකින් යළිත් ඇගේ හදවත පිරුණා.

“ ඇත්තටම මට ඕනේ උනේ ඔයාත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න යශෝ... එකයි මම ඔයාව මෙතනට එක්ක ආවේ...”

ඔහුට අමතක වෙලා තියෙන්නේ reports එක විතරක් නෙමෙයි... තමන්ගේ උපන් දවසත් බව යශෝරාවිට දැනුණා. පෙම්වතියක්ව ගෙවපු අවුරුදු තුනහාමරකට පස්සේ.. බිරිදක්ව ගෙවපු හය වසරකට පස්සේ පළමු වතාවට ඔහුට එය අමතක වෙලා තිබුණා. යශෝරාවිට හුදකලාවක් දැනුණා...ඇයට ඕනේ උනේ ක්ෂිතිජ ඉමේ එහා කොනටම ගෙනිහින් හිත අමතක කරදාලා ආයෙත් එන්න.. එත් හිතට ඔනෙ උනෙ අමතක උනු හැම අහුමුල්ලක්ම හාර හාර ඇයට මතක් කරලා දෙන්න