Tuesday, June 28, 2016

මුත්තාගේ කොලම



මුත්තාගේ කොලම ....

(පළවෙනි කතා සංතැසිය )







කැලෑ පත්තරේ විත්තිය


දෝණින්දෑ ඇවිත් මොකද්දෝ චූරනිකාවක් ඒකිගේ අම්මන්ඩිත් එක්ක දෙසාබනවා මං අහගෙන . ..  එකෙන් මේකෙන් උනේ මිණිපිරී මගේ බුලත් වංගෙඩිය කොටා දෙන්න සුනංගු වෙච්චි ඒක...  හැන්දෑවට බුලත් විඩක් එදාගන්නේ නැතුව හාන්කාව වගේ හින්දා මාත් උන්දලාගේ කතාබහට කණ දැම්මා කියහන්කෝ...  බොලේ අප්පා....  අපූරු මාත්තුරුකාවක්නේ  උන්ගේ කතාව වෙලා තිබ්බේ...

“ අම්මාට  කියන්න.... ඒක කවි කොලයක්ම නෙමෙයි...  කැලෑ පත්තරයක් වගෙයි..  “

“ ඉතින්.....  මොනවද තිබ්බේ....”

“ අපි අර මඩුගල්ල මැඩම් ගැන කනින් කොනින් අහලා තිබ්බ කතා ටික ඊට වඩා සැරට ලියලා තිබ්බා....   මොනවා උනත් අම්මා ඒක ලියාපු කෙනාට...  හොදට  කවි ලියන්න පුළුවන් හැකියාවක්  නම් තියෙනවා...  “

“ ඕවා ඉතින් ඔය ගහන්නේ ලියන කෙනාම නෙමෙයි...”

“ ඇත්තමයි අම්මා කවි වලින් මේ හැටි කුණුහරප කියන්න පුලුවන්ද හිතෙනවා “

  කවි කොලේ ගැනවත්, කැලෑ පත්තරේ ගැනවත් ගනිච්චියක් නැතුව කරන කතාබහ අහන් ඉන්න බැරි කමටමයි මං උන්දැලගේ කතාවට හොස්ස දැම්මේ..  මං  පත් කැලෑ පත්තරේ ගැන හැබෑ විස්තොරේ කියන්න ගත්තම මිණිපිරී  ඉබේම ගිහින් බුලත් වංගෙඩිය ගාවින්  ඇන තියාගත්තා..  උන්දැගේ අම්මණ්ඩි.... ඒ කියැව්වේ  මගේ දොනියෙන්දෑ  කොහෙද තිබ්බ ගෙත්තමකුත් උස්සන් ඇවිත් පතු පුටුවට බර උණා.. මගේ මායියත් පිළිකන්නේ ඉදන් ඇවිදිල්ලා කොරලා  පිලට පැදුරක් දැම්මේ.... මගේ  කතාවේ වරුණාව උන්ද සහසුද්දෙටම දැනන් උන්නු හින්දා...

‘ ඔය.... කැලෑ පත්තරේ  19 වෙනි සියවසේ මැදකාලේ මේ රටේ හරි හරියට පොරසිද්ද උනාට මොකද ඕක පටන් ගත්තේ නන් මීට අවරුදු තුන් හාරසීයකට ඉස්සොර ..   ඕනෑ රටක සාහිත්තියක් දියුණු වෙන්න බලපෑවේ ඒ රටේ ආගම ධරුමේ නොවැ.. ඉතින් අපිටත් එහෙම්ම තමයි ඔන්න... ඔය අපේ රාජාවලිය කියන පොතේ තමයි මුලින්ම මේ උපහාසාත්මක සීපද හම්බු වුනේ... අරිට්ට කීවෙන්ඩු කියන ආඩි ගුරෙක් ගැනනේ ලියවිලා තිබුනේ...

ආඩිගොල්ල එක                   එකටයි...
කොක්කනම් පයිය වෙන   වෙනමයි...

ඉන්පස්සේ .......  මං කිව්වේ  මුල් කාලේ ලියවෙච්ච  බොහොමයක් කැලෑ
පත්තොර  පෙත්සන් විදිහට තමයි ලියවුනේ.. අපේ ධර්මපාල තුමන්ගේ අවදියේ.. ඒකාලේ ආගම... ජාතියට වින කොරන උන්ට තමයි වැඩියක්ම කැලෑ පත්තර වැදුනේ...  අපේ අප්පොච්චියත් එතුමාගේ වියපාරේ පස්සේ වැටිලා හිටියා නෙව...  ඒ කාලේ දුසිල්වත් හාමුදුරුවන්ට හිට කල පත්තර වැදුණානේ අම්මපා..  

‘කැලෑ  පත්තරේ වගවිත්ති කිව්වා මදැයි ඔය..... අර ඒ කාලේ රහ කොර කොරා කියන කවි පන්තියෝක් කිව්වනන්නේ අපේ රාලහාමි හොද... ‘

‘ අනේ ඔව් අත්තේ...’

මගේ මායියයි මිණිපිරී එක්කාසු වෙලා මගේ කතාව වෙනෝම පැත්තකට තල්ලු කරලා දැම්මා..

‘හ්ම්ම්ම්......   ඔන්න ඒ කාලේ මන්ත්රොන සබාවේ .... ඒ කිව්වේ දැන් ඔය තියන පාර්ලිමේන්තුව වගේ එකේ.... හිටියා කතානායක වරයෙක්...   උන්දැගේ නම මේ..... මේ.... බොහොම පොරසිද්ද එකක්... කැලෑ පත්තරෙත් එපමණටම පොරෝසිද්ද උන ඒ හින්දම...’

‘ ඔය කියන්නේ ප්‍රැන්සිස් මොලමුරේ  මහත්තයා ගැන වෙන්නොනේ...’

අපේ  මායියා  කතාව නොකිව්වා උනාට මංම කියලා අහන් ඉදලද කොහේදෝ...... අපූරුවට කතාවේ නම් ගම වග විත්ති දැනන් උන්නා..

‘ ඒ කාලේ නගර සබාවේ හිටියා අසරප්පා කියලා දොස්තර මහත්තැන් කෙනෙක්...   උන්දැ දික්කසාද නඩුවක් දැම්මා තමන්ගේ නෝනට විරුද්දව...  ඒ කාලේ දැන් කාලේ වාගේ දික්කසාද නඩු තිබුනේ නෑ..  ඊටත් වඩා කාරිය උනේ දොස්තර මහත්තය තමන්ගේ නෝනාගෙන් වෙන් වෙන්න ඕනේ උනේ....ඔය කිව්ව මොලමුරේ අප්පෝ දොස්තර මහත්තැන්ගේ නෝනා එක්කලා තිබ්බ පෙම් හුටපටයක් හින්දා.... උන්දැ වන්දියකුත් ඉල්ලුවා මොලමුරේ මහත්තයාගෙන්...  කොහොමින් කොහොමින්  හරි මේ නඩුව උසාවියේ ඔප්පු උණා..  මොලමුරේ අප්පෝ රටේ කතානායක වෙච්චි...ලීලාවතී නෝනා ගුරුවරියක්  වෙච්චි....    ඒ කාලේ මේක හාහෝවට..  රටේ පැතිරෙන්න ගත්තා..  පත්තර වල මුල් පිටුවේ ගියා...  කවි කොළ...  කැලෑ පත්තර හරි හරියට....  මේ කැලෑ පත්තරේ කිව්වේ ඒක ගැන තමයි...’


කවුන්සිලේ වැජබෙන ධනපති                                            රොත්ත
කම්කරු ගොවින් මිරිකා මොළ කන                                      හැත්ත
දැන් දැන් දිග හැරෙයි කොයි කාගේත්                                   ඇත්ත
මොලමුරේ මැතිදු ලේව්වලු ලීලගේ                                     ...........

කුල නිල ධනය හිස මුදුනේ තැබූ                                               නිතී
සුල මුල පටන් අදිරද  සුද්දන්ට                                                 ගැතී
කෙල නීති අචල කෙලි පරබුන් සමග                                          රති
බල ලෙල්ලම් වූ රග මොලමුරේ                                               මැතී

ලක තුල පරසිදු ඉලව් වලව්වල වල්කම් ටික ටික             එළිවෙන්නේ
මොක මොකවත් කර ගූ ගෑවුනු තැන් හොදන්නයි උන්       දගලන්නේ
එක එක ගැනුන් සමගින් ........ විරවාගෙන මූ දැන්                 ඉන්නේ
දුක දුන් උන්ගේ සාපය වැදිලයි මේ කරුමය පඩිසන්             දෙන්නේ


ඒ කාලේ ඔය කාරණාව ගැන කවි කොලත් ලියවිලා තිවුන මට මතකයි... ‘
‘ අනේ අත්තේ එකත්  කියන්නකෝ...’

කවිකොලවල කාරණා විත්ති ඔය වගේ සැරපරුසේට ලියවෙන්නේ නැ මිනිපිරියේ...  කවි ලියන අත්තොන්ගේ  හිතේ වපසැරියට  ඔය  කාරනා කාරණා මැදිහත්ව තමා ලියන්නේ ගොඩක් වෙලාවොට...’

‘ ඉතින් කියන්නකෝ අත්තේ...’

බිරිදගේ සොර සැමි කමකට තේරුවේ  ලක තුල නම් දැරූ පුතෙක්ම                     වේ
රුවද කුලය දන නම්බුනාම බල සැමකින් ඉතිරි පැතිරුම                                      වේ
හඩද දනන් තුඩ තුඩ පිළිරැව් දෙන වන්සේ උතුම් මහා මුලක්ම                               වේ
වරදකරුව දැන් පෙනී සිටින මේ මහතා නම් රජ කෙනෙක්ම                                 වේ

ලක තුල තිලක වූ රදල පෙළපතින් පැවති එන මොලමුරේ                              නාමේ
ලක තුල මැතිසබේ ‘ස්පීකර්’ වන ඒ.ඇප්. මොලමුරේ මැති ගැන                           මේ
රුව දුල ‘ලීලාවතී අසරප්පා’ මැතිනි සමග රහසේ                                           විසීමේ
සුල මුල පහදා දොස්තර මහතා දික්කසාද වන ලෙස                                      කරුමේ

‘අත්තේ.........’

‘ හරි  හරි...  අනිත් දොහේ කියන්නංකො....  මං තවත් පොරසිද්ද කවි කොලේක  විත්ති... උබ දැන් ඔය බුලත් විඩේ කොටහන්කෝ....’







Wednesday, June 22, 2016

මොනර කිරිල්ලි - 4







මොණර කිරිල්ලී - 4 







ගත  පුරා ගලාගෙන ගිය උණුසුම් වතුරට යශෝගේ හිතුවිළි උණුසුම් කරන්න පුළුවන් උනේ නෑ..    නිදන ඇදුමක් ඇගලා ගත්තත් ඇයට අයිති ඉඩ කොටස ඇදේ ඒ විදිහටම තිබුනත්...  නින්ද ඇගෙන් බොහොම දුරකට ඉගිල්ලිලා ගිහින් තිබුණා. ගීත් ඇදුම් පිටින්ම ඇදේ වැතිරිලා හිටියේ හැබැවටම නින්ද ගිහින්ද කියලවත් හිතන්න යශෝට ඕනේ උනේ නෑ... යශෝ හැගීමකින් තොරවම සෙමෙන් පඩි නැග්ගා. 

සුදු බේබි... කෝපි එකක් හදන්නද...?”

ඉහල මහලේ වහලක් නැති එළිමහන් අංගනයේ ලොවි බංකුවේ ඉදන් ඉහල බලන කොට යශෝරාවීට පෙනුනේ වළාකුලක්වත් නැති හිස්ම හිස් අදුරු ආකහේ විතරමයි.. තමන්ගේ ජීවිතෙත් ඒ වගේම හිස් වෙලා ගිහින් නේද කියලා යශෝට හිතුණා.. ඇගේ කදුළු ගල් ගැහිලා තිබුණු නිසා ඒවා සිතුවිලි හා එකතු වෙන්න කිසිම සුදානමක් තිබුණේ නැ.. යශෝගේ හිතුවිළි කිසිම පිළිවෙලක් නැතුව ඇගේ ජීවිතේ ගෙවිච්ච මතක ලග නතර වෙමින් ගමන් කරමින් උන්නා..

 කෝපි එක... සුදු බේබි ....

“..................”

සුදු බේබි දැන්ම නිදාගන්නේ නැද්ද...

නීලියා නිදාගන්න.... මං ටිකක් ඉදලා එන්නම්... මහන්සියි,....

සුදු බේබිට සීතලේ ඒවි... ඉන්න මං බ්ලැන්කට් එකක් අරන් එන්න...

ඕනේ නෑ... නීලියා..  නිදාගන්න...

කුඩා කල තමා හදා වඩාගත් මේ ගැහැණිය අවසානයේ සිය දයාදයේ කොටසක්ව මේ නිවහනට පැමිණ නිවහනෙම  කොටසක් වෙලා ඉන්න බව මතක් උනහම  යශෝගේ හිතේ කවදාවත් නැති තරමේ සෙනෙහසක් ඇය ගැන පහල උණා.  තමන්ගේ මුහුණේ පුංචි ඉරියව් පවා කියවන්න  පුංචි කාලේ ඉදලම  ඇයට පුළුවන්  මතක් උනත් යශෝ ඒ ඔස්සේ හිත වෙහෙසවන්න්න හැදුවේ නෑ..   යශෝට ඕනේ උනේ හිත සැහැල්ලුවෙන් තියාගන්න නිසා... ඇය  බොහොම ඇතින් පෙනෙන තරු දිහා බැලුවා.. ඒත් ඒ තරුත් එක්ක වෙනදා වගේ.. කතාකරන්න ඕනේ කමක් ඇයට තිබුනේ නෑ.... නූවී හැඩකාර ගමනින් ඇවිත් පුළුන් බෝලයක් වෙලා යශෝගේ ඇගට තුරුල් උණා.


යශෝගේ හිතට වරින් වර ඇවිත් අතීත මතකයන් එබිකම් කරමින් යන්න ගියත්... ඒවා පස්සේ පන්නගෙන ඒ වටේ එතෙන්න මේ වෙලේ යශෝට ඕනේ උනේ නෑ..  ඇයට ඕනේ උනේ හිතුවිලි වලින් මුක්ත වෙලා ඔහේ ඉන්න විතරයි..    මේ වගේ වෙලාවක හිතුවිලි පස්සේ දුවන්නවත්..  තීරණවලට එලබෙන්නවත්..  කොහෙත්ම ඕනේ නැති බව ඇය දැනන් උන්නා. හැම දේම නිස්කන්සුවේ හිතන්න....  හිතට වෙලාවක් සොයා දිය යුතු බව පමණක් ඇය සිතුවා...


දුකක් උනත්... සතුටක් උනත්... දිගටම තියෙන්නේ නෑ කියලා ඇගේ හිත යලිත් මතක් කරලා දුන්නා..  මේ තියන මනෝභාවයන් උනත් හෙට වෙද්දී යම් පමණකට සන්සුන් වෙන බව ඇය දැනන් උන්නා..  මේ අහස් වියන යට තමන් අසම්පූර්ණ ආත්මයක් විතරක්ම පමනක්බවත්.....  කොහොම උනත් ඇගේ කිසිම සිතුවිල්ලකට ගීත්ව කැන්ද  නොගන්න ඇගේ  හිතුවිලි පරිස්සම් වෙලා තිබුනා. ඇය ඇගේ හිතුවිලි වලට බලෙන්ම පාර පෙන්නුවේ පුංචි කාලේ සුන්දර මතක දිහාට..  ලොකු වෙහෙසක් නැතිවම යශෝට ඔන්චිල්ලා බැංකුවේම නින්ද ගිහින් තිබුණා..


පාන්දර යාමේ ඇහැරුණාම පුරුදු විදිහට යශෝව ලංකරගන්න හදද්දී යහනේ තමන් ඉන්නේ තනිවම කියලා දැනුනාම ගීත් ඉබේටම ඇහැරුනා... පෙරදා රැයේ වූ හැම සිදුවීමක්ම ඔහුගේ මතක අතරට පිවිසෙද්දී..  ඔහු  බියට පත් උණා.  ඇගේ ජීවිතය දෙදරා යන බව දැන දැනම  ඒ කතාව  තමන් මොන තරම් නොහික්මුණු මුග්ධ අයුරකින් ඇයට පැවසුවාද යන්න ඔහුට හදිස්සියේම මතක් වෙද්දී මිදී ගත නොහැකි පශ්චාත්තාපයක් ඔහුට දැනුනා..  තමන්ගේ ඒ නොසන්ඩාල කම ඇය මොනතරම ඉවසීමකින් දරා ගත්තද කියලාත් ඔහුගේ යටිසිත මතක් කර දුන්නා..    ඔහු ගේ පුරාම ඇයව සොයලා  නිලියාව අවදි කරන්න හදද්දී තමයි දැක්කේ ඉහල මාලයට යොමු වුනු කම්බි ගේට්ටුව වසා දමා නොමැති බව..  ගීත් සිරුවට පඩි නැග්ගා..   


පැද්දෙන බංකුවේ හීතලේම නිදන් ඉන්න යශෝ දැක්කාහම ගීත්ට ඇය ගැන ශෝකයකුත්.... තමන් ගැනම කලකිරීම  යලිත් වැඩිවෙමින්  දැනෙන්න ගත්තා..  ඒත් එක්කම යශෝ හීනෙන් හූල්ලන සද්දේ අහගෙන ඉන්න බැරි තරම් පීඩාවක් ඔහුගේ හිතට කැන්දාගෙන ආවා..   ඔහු ඇස් වසාගෙන නිහඩ පරිසරය අහගෙන ඉන්න හිතුවත්...  හිතේ ඝෝෂාවෙන් නිදහස් වෙන්න ඔහුට ලැබුනේ නෑ..  අදුරත් සමග එකතු උණු අපූරු දීප්තියක් අහස පුරාම පැතිරිලා ගිහින් තිබුණා...  ඒ එළියේ දීප්තිය  යශෝගේ මුහුණට  වැටිලා  ඇගේ මුහුණ වඩාත් පැහැපත්ව දිදුලමින්  තිබුණා..  ගීත්ගේ වරදකාරී දැඩි හිතුවිලි ඒ සුන්දර රුව අසළ  දියව යමින් තිබුණා..


ගීත් තාරකා ගැන හිතන්න වුනා..  තාරකාව මුලින්ම තමන් දුටුවේ මීට වසරකට පමණ පෙර.. තමන්ගේ ආයතනයට ප්‍රබල තරගකාරී බවක්ව  තිබුණු  ඇය කටයුතු කල වෙළද ආයතනය බිදගෙන බොහෝ වැදගත් ව්‍යාපාරමය තොරතුරු රැසක් සමග ඇය ඔවුන් වෙත පැමිණ තිබුණා..  තමන්ගේ කළමනාකාරිත්වය ඒක පයින් ඇයව ගන්න සුදානම් වෙද්දී ගීත් විතරයි වෙනත් අදහසක් දැරුවේ..

“ මේක එයාලගේ තුරුම්පුවක් වෙන්න පුළුවන්...  මොකද මේ වෙද්දී අපියි එයාලට ලොකුම තරගය දෙන්නේ..”

“ ඒක ඇත්ත .....   ඒත්.... මෙයා අපිට හොද technical  methods  ක් ගෙනැත් තියනවා...”

“ එයා ඒ විදිහටම අපේ මෙතඩ්ස් අරගෙන ආයේ එතනට ගියොත්...  එහෙමත් නැත්නම්... වෙනින් තැනකට...”

“ ඒක නම් හිතන්න වෙනවා තමයි...”

“ අපි එයාව තොරතුරු ගන්න බැරි තැනක තියමු..”

“කොහෙද...??”

“ අපි එයාව මිස්ට චන්ද්‍රගීත්ගේ  assistant   කරමු..

“ ඔව්..හොදම දේ ඒක.... 

“ ගීත් එයාව විස්වාස කරනකම් වගකීමක් නොදී ඉමු...”

ඒ කළමනාකර මණ්ඩලය විසිරෙද්දී සිය මිතුරා පැමිණ රහසින් කල විහිළුවද ගීත්ට හදිස්සියේම සිහිපත් උනේ ඔහුගේ හිත පුරා විදුලියක් කොටමින්..  

“ මචං.... කෝකටත් පරිස්සමෙන්... ගෑනිට තියෙන්නේ sexy look  එකක්...  ආයතනේ details  හොරකං නොකළට උබේ heart  එක හොරකං කරන්න ඉඩ තියනවා.. “


ගීත් ඉක්මනින් පඩිපෙළ බැස ගිහින් නාන කාමරයට වැදුණා..  ඔහුගේ උණුසුම් තිබු සිරුර මත සිසිල් දිය බිදු වැටෙද්දී.. ඔහුගේ සිරුරට දැනුනු සුවය මොහොතකටවත් ඔහුගේ හිතුවිලි වලට දැනුනේ නම් නැහැ..



( ඊලග කොටසින්...)

Monday, May 16, 2016

මොණර කිරිල්ලි - 3



මොණර කිරිල්ලී - 3









හිරු බැහැලා ගිහින් තිබුණා..  රන්වන් සේද සැරසිලි මකා දමමින්....  අහසයි.. පොළොවයි.. එක්කාසු කළ ක්සිතිජ රේකාවත් අදුර තුල සැගවිලා ගිහින් තිබුණා සේයාවක් පමණක්ම ඉතුරු කරමින්.. පිරිමියාටම නිරන්තරයෙන්  ගතු කියමින් ඔහු මතම හැපෙන  ගැහැනියක සේ...  දිවා කාලය පුරා හඩ නගමින්  වෙරළ මතම හැපුනු මුහුද..., මේ රාත්‍රියේ  නම්  නිහඩ කෙදිරියක් පමණක්ම  නගමින්  වෙරළට තුරුල් වෙමින්  හිටියා.

“ යශෝ...”

“ හ්ම්....”

“ අපි යමුද....?”

“ ඔයා කියන්න ආපු දේ කිව්වේ නැ.. “

ගීත් මුහුද දිහා බැලුවා. මුහුදත්...., රල පෙණ කැබිලිති වෙරළ පුරා සෙමෙන් විසුලවමින් රහසින් ඔවුන්ගේ  කතාවට කන්දුන්නා. කතාව කොතනින් පටන් ගන්නද කියලා ගීත්ට හිතාගන්න බැරී උණා.  කොතනින් පටන්ගත්තත් කියන්න තිබුනේ එකම කතාවක්. අනිත් අතට කතාවක් කොහෙන් පටන්ගත්තත් ඒක කතාවක්මයි.. හිතාගන්න බැරී උනේ ඒකට යශෝරාවී කොහොම දරාගනීද කියන එක විතරයි. මේ කතාව මොන පැත්තකට පෙරළුනත් මේ කතාවෙදි යශෝරාවිට අවංක වෙන්නත්.. එන තත්වයට මුහුණ දෙන්නත්  ගීත් හිතන් හිටියා.

“ යශෝ....”

“  කියන්න..”

“ ඔයා මුහුද දිහාම බලා ඉන්න.. මට මේක ඔයාගේ මූණ දිහා බලාගෙන කියන්න බැ..”

යශෝරාවිගේ හිතේ හෙන සරක් පිපිරුණා.  මුහුද උදම් රළ පෙළක් තුළ තමන් සගවාගන්නට වෙර දරණ බවක් ඇයට දැනුනේ.. කියන්න යන දෙයෙහි පුරෝකථනය ඇගේ  මනස ග්‍රහණය කරගනිමින් උන්නෙ. ඇය නිහඩවම අසා උන්නා..

“ ඔයා තවත් කෙනෙක්ගෙන් මේක දැනගන්න කලින් මං මේ දේ කියන්න හිතුවා..”

ගීත් කතා කලේ තවත් කෙනෙක් නොකරන තරම් මහා ලොකු පරිත්‍යාගයක් කරන්න හදනවා වගේ.. එත් ඊලග නිමේෂයේ ඔහුගේ හඩ නිහින ලෙස බිදිගියා.

“ මං  කෙනෙකුට ආදරේ කරනවා.. එයාට ඕනේ මාත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න..  මං දන්නවා ඔයාට මේක ගොඩක් අමාරුයි කියලා..”

යශෝරාවිගේ නෙතු මුහුදින්  මිදෙමින් ඒ හා සමානම තද නිල් පැහැයකින් යුතු අහස දිහාට සෙමෙන් ගමන් කරමින් තිබුණේ. ‘ දෙවියන් වහන්ස.... මට හයිය දෙන්න ... මේ කතාව අහන් ඉන්න මට හයිය දෙන්න.. ජෙසුනේ... කදුළු ගේන්න එපා.... මගේ ඇස් වලට...’ අහසේ පේන  මානයෙනුත් බොහෝ දුරක ඇගේ ඇස් නතර වෙලා තිබුණා.. එකිනෙකා පරයමින් මතුවෙච්ච හිතුවිලි ජාලයක් ඇතුලේ පැටලෙමින් උන්නු ගීත්ගේ ඇස් යශෝරාවිගේ සුදුමැළි වෙමින් තිබුණු  මුහුණ දැක්කේ නැහැ.

“ අනිත් දේ.... ඔයාට කියන්නම ඕනේ..  මේක ඔයාගේ අඩුපාඩුවක් හින්ද වෙච්ච දෙයක් නෙමෙයි.. ඇත්තටම ඒක හරිම අහම්බයක්... ඒත්.... දැන් එයාට ඕනේ.......”

“ එයාට විතරද.... ඕනේ..??? ”

මෙතෙක් වෙලා තනිවම කතාවක් කියමින් හුන් ගීත් බොහෝ දුර ඈතකින්  සිහින්  සරින් ඇහුනු හැගීම් විරහිත හඩකින් මොහොතකට නතර උණා.

“ න්..නෑ... ඒත්..., එයත් එක්ක කිසිම දෙයක් කතාකරලා විසදගන්න බෑ...”

යශෝරාවිට අඩන්න ඕනෙද.. හිනාවෙන්න ඕනෙද කියලා හිතා ගන්න බැරිව ගියා.  ඇය මුකුත්ම නොකියා තව දුරටත් අහන් උන්නා.

“ මම මේ හැම දෙයක්ම ඔයාගේ නමට ලියනවා..”

යශෝරාවිගේ ඇසිපිය තදින් සැලුණා.ඇගිළි තුඩු ගුළි ගැහිලා අල්ල මත තද උණා. තමන් පොළොව තුළට ගිලාබසින බවක් ඇයට දැනුනේ. ‘මගේ ජීවිතය.. මගේ ආදරය... මං කරපු කැපකිරීම්... මේ හැමදේම .... මට තුට්ටුවක්වත් වටින්නේ නැති දේපලක් එක්ක හිලව් කරන්නද හදන්නේ මිනිහෝ....’ කියමින් යශෝගේ හිතේ උන්නු කාලි අම්මා වගේ ගැනියෙක් නැගිටලා  ගිහින් කේන්තියෙන් ගීත්ව සොලවද්දී යශෝ තවත් පුටුව තුළටම ගල් උණා. ‘ වැඩක් නැහැ... මෙච්චර කල් එකට ඉදලත් එයා ඔයා ගැන මුකුත්ම දන්නේ නෑ...’ ඇගේ හිත ඇතුලේ හිටපු තවත් ගෑනියෙක් යශෝගේ කනට කෙදිරුවා. අහසේ ගොඩක් ඈතක ඉදන් දේව මෑනියෝ බොහොම කරුණාවෙන් ඇය දිහා බලන් හිටියා.

 මුළු ජීවිතකාලයේම ඇය ගෙවූ පීඩාකාරී හෝරාව මේ මොහොතේ  ඇය ගෙවමිනුයි  හිටියේ.. ගීත්ගේ දුරකථනය අපූරු ගී තනුවක් වයමින් ඔහුගේ අවදානය උදුරාගත්තා. ප්‍රේමවන්ත කතාබහක් අහන් ඉදලා...  තමන්ව නොහදුනනනා මිනිහෙක් ළග කදුලක් පූදගන්න අකැමැත්තෙන් ඇය සීරුවට වෙරළ දිහාවට ඇවිද්දා.

“ ස්ටේෆ්නි.... “


යශෝරාවිගේ වැලිකෙලියේ මිතුරිය..  තමන් සිය දුරකථනය රැගෙන නොආපු බව ඇයට සිහි උනේ ඒ මොහොතේ.. එය ඈ ඇතින් නිරන්තරයෙන් වන අත්වැරැද්දක්..


“ හෙලොඕ....  ස්ටේෆ්නි....”

“ නීලියා කිව්වා ඕගොල්ලෝ එළියට ගිය කියලා... යශෝගේ ෆෝන් එක රින්ග්ස් යනවා ගන්නේ නැනේ...”

“ ම්ම්ම්ම්.... ඔව්..... මේ   අපි ඉන්නේ see back beach hotel එකේ ස්ටේෆ්නි...   

“ ඕ....ඕ....  birthday එක celebrate කරනවද.. sorry.... එත් මට මගේ යාලුවට wish  නොකර ඉන්න නම් බැ“

“ ඕඕ .... Jesus...  ඉන්න මම දෙන්නම්..”


ගීත්ගේ වරදකාරී නෙතු සමාව ඉල්ලමින් ඇගේ නෙතු අසළ දැවටුනා.  ඒත් ඊට වඩා බරපතල වැරද්දකින් ඒ වරද වැහිලා ගිහින් තිබුණු නිසා යශෝ.. ස්ටේෆ්නිත් එක්කම මුහුද පැත්තට හැරුණා. මේ වෙලාවේ මිතුරියගේ  කෙළිලොල් කතාබහ ඇයට අස්වැසිල්ලක් උණා. ගීත් මුදල් හිලව් පියවලා මිත්‍රශීලී වේටර් තරුණයාත් සමග කතාබහක පැටලිලා එද්දී යශෝරාවී රියට ගොඩවෙලා පිටුපස අසුනින් හිදගෙන හිටියා. තමන්ට අහිමි අසුනක තවත් රැදෙන්න ඇයට හිතක් තිබුනේ නෑ.  ගීත් පුදුමයෙන් ඇය දිහා බැලුවත් ඒ ඇයි කියලා අහන්න ඇයට හයියක් තිබුනේ නැ..


“ sorry යශෝ..... මට අමතකම උණා....”

ඒ වනවිට යශෝගේ නිහඩබව දරාගන්න බැරි තරම් බරක් ගීත්ගේ හිතේ උපද්දවමින් තිබුණා..  ඒ වගේම වේටර් තරුණයා කියූ දේ තුල වූ.. නොකී දෙය  ඔහුගේ හිත හොල්ලල තිබුණා..  “ සර්ගේ නෝනා නම් ගොඩක් ලස්සනයි.....”  ගීත් යශෝටත් නොදැනෙන්න හොරෙන් ඇය දිහා බැලුවා. ඇය අසුනට හේත්තු වෙලා නෙතු වසාගෙන උන්නත් ඒ නින්ද ගිහින් නොවෙන බව ඔහු දෙනාගෙන උන්නා.. හැබැවටම ඇය සුන්දර බව ඔහුත් හිතුවා.  සෙමෙන් ලංකරගෙන ඒ රත් පහ දෙතොල් සිපගෙන උපන්දිනේට සුබපතන්න.... ඔහුට  හොදටම ඕනෙකම තිබුනත්... ඒ අයිතිය හෝරාවකට පමණ පෙර ඔහු විසින්ම අහිමි කරගෙන තිබුණා. මේ කතාව කියන්න අද දවසම තෝරගත්ත එක ගැන ඔහුගේ හිතට සමාවක් තිබුනේ නෑ. ඊටත් වඩා ඇයව අහිමිවීමේ ශෝකය හා ලෝබකම ඔහුව පෙලන්න අරගෙන තිබූණා.


රිය බොහොම  සෙමෙන් ඉදිරියට ඇදුනා.නැවතුනේ බොහොම ප්‍රසිද්ද රන්ආබරණ සාප්පුවක් අසළ. ඒ වෙලේ නම් යශෝ ඇහැරුණා.


“ ඇයි මේ...”

“ ඔයාට තෑග්ගක් ගන්න...”

“ එපා.... ඔයා මේ දීපු උපන්දින තෑග්ග මගේ ජීවිත කාලෙටම ඇති.... දැන් යමු....”


මෙතනින් පසුව සමරන්නට උපන්දවසක් ඇයට අහිමි කළ බව දෑනුනම ගීත්ගේ හිතට ආවේ ලොකු දුකක්... ඒත් මේ වනවිට යළිත්  සකසන්නට නොහැකි ලෙස වෙනස්ම පරිසරයක් ඔවුන් වටේ ඉදිවෙමින් තිබුණා..


“ මට සමාවෙන්න යශෝ...”

මහපාරෙන් අතුරු මාවතට රිය හැරවුනා. ඇතින් පේන උස්බිමේ  කුඩා ගෙවුයනක් සහිත ඔවුන්ගේ සොදුරු නිවහන දිස්වූනා. ‘ගීත් ඇයට දීලා යන්න ඉන්න නිවහන...’ කවුදෝ කෙනෙක් හිතේ පැත්තක ඉදන් හිනා උණා. ඇත දුර බැහැරක  ගිහින් නිවසට එද්දී මේ ඇහැට වදින දසුන වෙනදා ඇගේ හිත ලොකු සුවයකින් පුරවලනවා. මේ වෙලේ නම් යශොට ඒ කිසිවක් දැනුනේ නැ.. නිලීයා තවම අවදියෙන් ඔවුන් එනතුරු බලන් ඉන්නවා ඇති.

“ඔයාට දරුවෙක් දෙන්න බැරි උන එක ඇත්ත.... ඔයාගේ wife විදිහට මගෙන් මොනවා හරි අතපහු උණාද.. “
යශෝරාවී හිතුවිළි හිරකරගෙන බොහෝම සාමාන්‍ය විදිහට ඇහුවා. තේරුමක් නැති උනත් ඒ ප්‍රශ්නෙට ඇයට උත්තරයක් ඕනෑවෙලා තිබුණා.

“ නෑ.... යශෝ.... නෑ.. .  ඒත්.... මිනිස්සු විදිහට අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ..  ඔයා මාව තේරුම් ගන්න..”
යශෝරාවිගේ හිත ඇතුලේ හිටපු වැඩකාරයා පෙරටත් වඩා හයියෙන් හිනා වුණා. ගීත් මේ විදිහට ආගන්තුකයෙක් වගේ  කතා කරන්න හුරු උනේ කොහොමද කියන එක නම් යශෝට තේරුම් ගන්නම බැරි උණා.රිය කුඩා එළිමහන් ගරාජය තුළ නතර උණා. යශෝරාවිගේ හිතේ තවත් වැදගම්මකට නැති ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබුණා. ඒත්... ගැහැනියක් විදිහට ඇයට ඒ ප්‍රශ්නේ බොහොම වැදගත් එකක් වුණා. ගීත් වාහනයෙන් එළියට බහින්න දොර හරිමින් හිටියේ..

“ එයා ඔයාගේ ජීවිතේට ඇවිත් කොච්චර කල්ද...??? “

ගීත් ආයෙත් අසුන තුළ ඉබේටම ඉදගැනුනා. ඔහුගේ හිතේ කවදාවත් නොවුණු තරම් ලැජ්ජාවක්.., පසුතවීමක් ඇති උණා. ඒක හත් මසක පමණ පුංචි කාලයක් තුළ සිදුවුණු මායාකාරී සිදුවීම් වැලක් කියලා ඇයට කොහොම කියන්නද..  ගීත් බර සුසුමක් හෙළලා..... නැගිටලා ගිහින් ඇගේ පස දොර හැරියා. යශෝරාවී රියෙන් බහින්න සූදානමක් තිබුනේ නෑ..

“ බහින්න..”

“ කොච්චර කල්ද...? “

“ මාස නමයක් විතර....”

 තවත් කිසිවක්ම නොවිමසාම රියෙන් බැස නිවස වෙත ඇවිදගෙන යන යශෝරාවී දෙස ගීත් බලාගෙන හිටියේ ගල් ගැහුණු ගානට. මේ ප්‍රශ්නයට විසදුම් හොයන්නට තමන්ට මීට වඩා කාලයක් ගත යුතුව තිබූ බව ඔහුට හිතුනත්... තාරකාගේ නිමක් නැති අදෝනාවන් ඔහුට සිහිපත් උණා. කොහොම උනත්..., කිසිවක් ආයෙත් ඇද බැද ගත නොහැකි පරිද්දෙන් වෙනස් වෙමින් තිබුණා.. නිහඩවම ඇවිද ගොස් නානකමරයට වැදුනු යශෝ දෙසත්.. බේබද්දෙකු ගානට වැනෙමින් ගොස් ඇදට වැටුණු ගීත් දෙසත්... නීලියා බලන් හිටියේ පුදුමයෙන්..

    

( ඊලග කොටසින්...)