Monday, May 16, 2016

මොණර කිරිල්ලි - 3



මොණර කිරිල්ලී - 3









හිරු බැහැලා ගිහින් තිබුණා..  රන්වන් සේද සැරසිලි මකා දමමින්....  අහසයි.. පොළොවයි.. එක්කාසු කළ ක්සිතිජ රේකාවත් අදුර තුල සැගවිලා ගිහින් තිබුණා සේයාවක් පමණක්ම ඉතුරු කරමින්.. පිරිමියාටම නිරන්තරයෙන්  ගතු කියමින් ඔහු මතම හැපෙන  ගැහැනියක සේ...  දිවා කාලය පුරා හඩ නගමින්  වෙරළ මතම හැපුනු මුහුද..., මේ රාත්‍රියේ  නම්  නිහඩ කෙදිරියක් පමණක්ම  නගමින්  වෙරළට තුරුල් වෙමින්  හිටියා.

“ යශෝ...”

“ හ්ම්....”

“ අපි යමුද....?”

“ ඔයා කියන්න ආපු දේ කිව්වේ නැ.. “

ගීත් මුහුද දිහා බැලුවා. මුහුදත්...., රල පෙණ කැබිලිති වෙරළ පුරා සෙමෙන් විසුලවමින් රහසින් ඔවුන්ගේ  කතාවට කන්දුන්නා. කතාව කොතනින් පටන් ගන්නද කියලා ගීත්ට හිතාගන්න බැරී උණා.  කොතනින් පටන්ගත්තත් කියන්න තිබුනේ එකම කතාවක්. අනිත් අතට කතාවක් කොහෙන් පටන්ගත්තත් ඒක කතාවක්මයි.. හිතාගන්න බැරී උනේ ඒකට යශෝරාවී කොහොම දරාගනීද කියන එක විතරයි. මේ කතාව මොන පැත්තකට පෙරළුනත් මේ කතාවෙදි යශෝරාවිට අවංක වෙන්නත්.. එන තත්වයට මුහුණ දෙන්නත්  ගීත් හිතන් හිටියා.

“ යශෝ....”

“  කියන්න..”

“ ඔයා මුහුද දිහාම බලා ඉන්න.. මට මේක ඔයාගේ මූණ දිහා බලාගෙන කියන්න බැ..”

යශෝරාවිගේ හිතේ හෙන සරක් පිපිරුණා.  මුහුද උදම් රළ පෙළක් තුළ තමන් සගවාගන්නට වෙර දරණ බවක් ඇයට දැනුනේ.. කියන්න යන දෙයෙහි පුරෝකථනය ඇගේ  මනස ග්‍රහණය කරගනිමින් උන්නෙ. ඇය නිහඩවම අසා උන්නා..

“ ඔයා තවත් කෙනෙක්ගෙන් මේක දැනගන්න කලින් මං මේ දේ කියන්න හිතුවා..”

ගීත් කතා කලේ තවත් කෙනෙක් නොකරන තරම් මහා ලොකු පරිත්‍යාගයක් කරන්න හදනවා වගේ.. එත් ඊලග නිමේෂයේ ඔහුගේ හඩ නිහින ලෙස බිදිගියා.

“ මං  කෙනෙකුට ආදරේ කරනවා.. එයාට ඕනේ මාත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න..  මං දන්නවා ඔයාට මේක ගොඩක් අමාරුයි කියලා..”

යශෝරාවිගේ නෙතු මුහුදින්  මිදෙමින් ඒ හා සමානම තද නිල් පැහැයකින් යුතු අහස දිහාට සෙමෙන් ගමන් කරමින් තිබුණේ. ‘ දෙවියන් වහන්ස.... මට හයිය දෙන්න ... මේ කතාව අහන් ඉන්න මට හයිය දෙන්න.. ජෙසුනේ... කදුළු ගේන්න එපා.... මගේ ඇස් වලට...’ අහසේ පේන  මානයෙනුත් බොහෝ දුරක ඇගේ ඇස් නතර වෙලා තිබුණා.. එකිනෙකා පරයමින් මතුවෙච්ච හිතුවිලි ජාලයක් ඇතුලේ පැටලෙමින් උන්නු ගීත්ගේ ඇස් යශෝරාවිගේ සුදුමැළි වෙමින් තිබුණු  මුහුණ දැක්කේ නැහැ.

“ අනිත් දේ.... ඔයාට කියන්නම ඕනේ..  මේක ඔයාගේ අඩුපාඩුවක් හින්ද වෙච්ච දෙයක් නෙමෙයි.. ඇත්තටම ඒක හරිම අහම්බයක්... ඒත්.... දැන් එයාට ඕනේ.......”

“ එයාට විතරද.... ඕනේ..??? ”

මෙතෙක් වෙලා තනිවම කතාවක් කියමින් හුන් ගීත් බොහෝ දුර ඈතකින්  සිහින්  සරින් ඇහුනු හැගීම් විරහිත හඩකින් මොහොතකට නතර උණා.

“ න්..නෑ... ඒත්..., එයත් එක්ක කිසිම දෙයක් කතාකරලා විසදගන්න බෑ...”

යශෝරාවිට අඩන්න ඕනෙද.. හිනාවෙන්න ඕනෙද කියලා හිතා ගන්න බැරිව ගියා.  ඇය මුකුත්ම නොකියා තව දුරටත් අහන් උන්නා.

“ මම මේ හැම දෙයක්ම ඔයාගේ නමට ලියනවා..”

යශෝරාවිගේ ඇසිපිය තදින් සැලුණා.ඇගිළි තුඩු ගුළි ගැහිලා අල්ල මත තද උණා. තමන් පොළොව තුළට ගිලාබසින බවක් ඇයට දැනුනේ. ‘මගේ ජීවිතය.. මගේ ආදරය... මං කරපු කැපකිරීම්... මේ හැමදේම .... මට තුට්ටුවක්වත් වටින්නේ නැති දේපලක් එක්ක හිලව් කරන්නද හදන්නේ මිනිහෝ....’ කියමින් යශෝගේ හිතේ උන්නු කාලි අම්මා වගේ ගැනියෙක් නැගිටලා  ගිහින් කේන්තියෙන් ගීත්ව සොලවද්දී යශෝ තවත් පුටුව තුළටම ගල් උණා. ‘ වැඩක් නැහැ... මෙච්චර කල් එකට ඉදලත් එයා ඔයා ගැන මුකුත්ම දන්නේ නෑ...’ ඇගේ හිත ඇතුලේ හිටපු තවත් ගෑනියෙක් යශෝගේ කනට කෙදිරුවා. අහසේ ගොඩක් ඈතක ඉදන් දේව මෑනියෝ බොහොම කරුණාවෙන් ඇය දිහා බලන් හිටියා.

 මුළු ජීවිතකාලයේම ඇය ගෙවූ පීඩාකාරී හෝරාව මේ මොහොතේ  ඇය ගෙවමිනුයි  හිටියේ.. ගීත්ගේ දුරකථනය අපූරු ගී තනුවක් වයමින් ඔහුගේ අවදානය උදුරාගත්තා. ප්‍රේමවන්ත කතාබහක් අහන් ඉදලා...  තමන්ව නොහදුනනනා මිනිහෙක් ළග කදුලක් පූදගන්න අකැමැත්තෙන් ඇය සීරුවට වෙරළ දිහාවට ඇවිද්දා.

“ ස්ටේෆ්නි.... “


යශෝරාවිගේ වැලිකෙලියේ මිතුරිය..  තමන් සිය දුරකථනය රැගෙන නොආපු බව ඇයට සිහි උනේ ඒ මොහොතේ.. එය ඈ ඇතින් නිරන්තරයෙන් වන අත්වැරැද්දක්..


“ හෙලොඕ....  ස්ටේෆ්නි....”

“ නීලියා කිව්වා ඕගොල්ලෝ එළියට ගිය කියලා... යශෝගේ ෆෝන් එක රින්ග්ස් යනවා ගන්නේ නැනේ...”

“ ම්ම්ම්ම්.... ඔව්..... මේ   අපි ඉන්නේ see back beach hotel එකේ ස්ටේෆ්නි...   

“ ඕ....ඕ....  birthday එක celebrate කරනවද.. sorry.... එත් මට මගේ යාලුවට wish  නොකර ඉන්න නම් බැ“

“ ඕඕ .... Jesus...  ඉන්න මම දෙන්නම්..”


ගීත්ගේ වරදකාරී නෙතු සමාව ඉල්ලමින් ඇගේ නෙතු අසළ දැවටුනා.  ඒත් ඊට වඩා බරපතල වැරද්දකින් ඒ වරද වැහිලා ගිහින් තිබුණු නිසා යශෝ.. ස්ටේෆ්නිත් එක්කම මුහුද පැත්තට හැරුණා. මේ වෙලාවේ මිතුරියගේ  කෙළිලොල් කතාබහ ඇයට අස්වැසිල්ලක් උණා. ගීත් මුදල් හිලව් පියවලා මිත්‍රශීලී වේටර් තරුණයාත් සමග කතාබහක පැටලිලා එද්දී යශෝරාවී රියට ගොඩවෙලා පිටුපස අසුනින් හිදගෙන හිටියා. තමන්ට අහිමි අසුනක තවත් රැදෙන්න ඇයට හිතක් තිබුනේ නෑ.  ගීත් පුදුමයෙන් ඇය දිහා බැලුවත් ඒ ඇයි කියලා අහන්න ඇයට හයියක් තිබුනේ නැ..


“ sorry යශෝ..... මට අමතකම උණා....”

ඒ වනවිට යශෝගේ නිහඩබව දරාගන්න බැරි තරම් බරක් ගීත්ගේ හිතේ උපද්දවමින් තිබුණා..  ඒ වගේම වේටර් තරුණයා කියූ දේ තුල වූ.. නොකී දෙය  ඔහුගේ හිත හොල්ලල තිබුණා..  “ සර්ගේ නෝනා නම් ගොඩක් ලස්සනයි.....”  ගීත් යශෝටත් නොදැනෙන්න හොරෙන් ඇය දිහා බැලුවා. ඇය අසුනට හේත්තු වෙලා නෙතු වසාගෙන උන්නත් ඒ නින්ද ගිහින් නොවෙන බව ඔහු දෙනාගෙන උන්නා.. හැබැවටම ඇය සුන්දර බව ඔහුත් හිතුවා.  සෙමෙන් ලංකරගෙන ඒ රත් පහ දෙතොල් සිපගෙන උපන්දිනේට සුබපතන්න.... ඔහුට  හොදටම ඕනෙකම තිබුනත්... ඒ අයිතිය හෝරාවකට පමණ පෙර ඔහු විසින්ම අහිමි කරගෙන තිබුණා. මේ කතාව කියන්න අද දවසම තෝරගත්ත එක ගැන ඔහුගේ හිතට සමාවක් තිබුනේ නෑ. ඊටත් වඩා ඇයව අහිමිවීමේ ශෝකය හා ලෝබකම ඔහුව පෙලන්න අරගෙන තිබූණා.


රිය බොහොම  සෙමෙන් ඉදිරියට ඇදුනා.නැවතුනේ බොහොම ප්‍රසිද්ද රන්ආබරණ සාප්පුවක් අසළ. ඒ වෙලේ නම් යශෝ ඇහැරුණා.


“ ඇයි මේ...”

“ ඔයාට තෑග්ගක් ගන්න...”

“ එපා.... ඔයා මේ දීපු උපන්දින තෑග්ග මගේ ජීවිත කාලෙටම ඇති.... දැන් යමු....”


මෙතනින් පසුව සමරන්නට උපන්දවසක් ඇයට අහිමි කළ බව දෑනුනම ගීත්ගේ හිතට ආවේ ලොකු දුකක්... ඒත් මේ වනවිට යළිත්  සකසන්නට නොහැකි ලෙස වෙනස්ම පරිසරයක් ඔවුන් වටේ ඉදිවෙමින් තිබුණා..


“ මට සමාවෙන්න යශෝ...”

මහපාරෙන් අතුරු මාවතට රිය හැරවුනා. ඇතින් පේන උස්බිමේ  කුඩා ගෙවුයනක් සහිත ඔවුන්ගේ සොදුරු නිවහන දිස්වූනා. ‘ගීත් ඇයට දීලා යන්න ඉන්න නිවහන...’ කවුදෝ කෙනෙක් හිතේ පැත්තක ඉදන් හිනා උණා. ඇත දුර බැහැරක  ගිහින් නිවසට එද්දී මේ ඇහැට වදින දසුන වෙනදා ඇගේ හිත ලොකු සුවයකින් පුරවලනවා. මේ වෙලේ නම් යශොට ඒ කිසිවක් දැනුනේ නැ.. නිලීයා තවම අවදියෙන් ඔවුන් එනතුරු බලන් ඉන්නවා ඇති.

“ඔයාට දරුවෙක් දෙන්න බැරි උන එක ඇත්ත.... ඔයාගේ wife විදිහට මගෙන් මොනවා හරි අතපහු උණාද.. “
යශෝරාවී හිතුවිළි හිරකරගෙන බොහෝම සාමාන්‍ය විදිහට ඇහුවා. තේරුමක් නැති උනත් ඒ ප්‍රශ්නෙට ඇයට උත්තරයක් ඕනෑවෙලා තිබුණා.

“ නෑ.... යශෝ.... නෑ.. .  ඒත්.... මිනිස්සු විදිහට අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ..  ඔයා මාව තේරුම් ගන්න..”
යශෝරාවිගේ හිත ඇතුලේ හිටපු වැඩකාරයා පෙරටත් වඩා හයියෙන් හිනා වුණා. ගීත් මේ විදිහට ආගන්තුකයෙක් වගේ  කතා කරන්න හුරු උනේ කොහොමද කියන එක නම් යශෝට තේරුම් ගන්නම බැරි උණා.රිය කුඩා එළිමහන් ගරාජය තුළ නතර උණා. යශෝරාවිගේ හිතේ තවත් වැදගම්මකට නැති ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබුණා. ඒත්... ගැහැනියක් විදිහට ඇයට ඒ ප්‍රශ්නේ බොහොම වැදගත් එකක් වුණා. ගීත් වාහනයෙන් එළියට බහින්න දොර හරිමින් හිටියේ..

“ එයා ඔයාගේ ජීවිතේට ඇවිත් කොච්චර කල්ද...??? “

ගීත් ආයෙත් අසුන තුළ ඉබේටම ඉදගැනුනා. ඔහුගේ හිතේ කවදාවත් නොවුණු තරම් ලැජ්ජාවක්.., පසුතවීමක් ඇති උණා. ඒක හත් මසක පමණ පුංචි කාලයක් තුළ සිදුවුණු මායාකාරී සිදුවීම් වැලක් කියලා ඇයට කොහොම කියන්නද..  ගීත් බර සුසුමක් හෙළලා..... නැගිටලා ගිහින් ඇගේ පස දොර හැරියා. යශෝරාවී රියෙන් බහින්න සූදානමක් තිබුනේ නෑ..

“ බහින්න..”

“ කොච්චර කල්ද...? “

“ මාස නමයක් විතර....”

 තවත් කිසිවක්ම නොවිමසාම රියෙන් බැස නිවස වෙත ඇවිදගෙන යන යශෝරාවී දෙස ගීත් බලාගෙන හිටියේ ගල් ගැහුණු ගානට. මේ ප්‍රශ්නයට විසදුම් හොයන්නට තමන්ට මීට වඩා කාලයක් ගත යුතුව තිබූ බව ඔහුට හිතුනත්... තාරකාගේ නිමක් නැති අදෝනාවන් ඔහුට සිහිපත් උණා. කොහොම උනත්..., කිසිවක් ආයෙත් ඇද බැද ගත නොහැකි පරිද්දෙන් වෙනස් වෙමින් තිබුණා.. නිහඩවම ඇවිද ගොස් නානකමරයට වැදුනු යශෝ දෙසත්.. බේබද්දෙකු ගානට වැනෙමින් ගොස් ඇදට වැටුණු ගීත් දෙසත්... නීලියා බලන් හිටියේ පුදුමයෙන්..

    

( ඊලග කොටසින්...)  



14 comments:

  1. Replies
    1. ඔබට ස්තුතියි.... මග පෙන්නනවා වගේම වැරදුනු තැන් පෙන්වනවට..

      Delete
  2. කතාව රසයි. අපූරුවට ගලාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි...
      හැමදාමත් ඉක්මනින් ඇවිත් කතාව කියවනවට... වගේම මිත්‍රශීලී ප්‍රතිචාරයට...

      Delete
  3. කතාවේ ගලාගන යාමේ රිද්මයට මේ පරක්කුව බාදාවක් කියලා හිතෙන්නෙම නැද්ද? අඩුමගානේ සතියට කොටස් 2ක්.....මෙහෙම ඉල්ලීමක් කරන්නේ මේ කතාව රහ නිසයි.
    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි..
      මේ දවස්වල ලක්හඩ නාට්‍යයක් ලියනවා. මුල් කොටස් 20ක් විතරම දෙන්න ඕනේ නිසා පොඩ්ඩක් වැඩ. ඉක්මනින්ම ලියන්නම් ඊට පස්සේ.. ස්තුතියි...

      Delete
  4. ලස්සනයි කතාව. මොන පැත්තට පෙරලෙයිද කියන්න බෑනේද තවම. අනිත් කොටසත් ඉක්මනට දාන්න. :)

    ReplyDelete
    Replies
    1. ස්තුති....
      ඔබේ blog එකට කැමතියි මම... හරිම නිර්මාණශීලි එය...

      Delete
  5. Replies
    1. ස්තුතියි කසුන්....

      Delete
  6. කෙලින්ම නොකිය කියවන කෙනාට හිතන්න දෙයක් ඉතුරු කරල තියන නිසා කියවන්නත් ආසයි, අනිත් කොටස දැන ගන්නත් ආසයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... හීන දකින්නී... ඔබේ පැමිනීමට... සහ ප්‍රතිචාරයට..

      Delete
  7. හරිම ලස්සනයි, අමුතුයි....

    ReplyDelete
  8. ස්තුතියි තාරුකාව.... අදුරේම ඇවිත් කියවලා ගියාට....

    ReplyDelete